අත්තම්මාගේ කතාව

අත්තම්මා අපේ
අන්තිමට ගිය පාර වට වන්දනාවේ
ගැහුවේ පොල් විෂ්ණු දේවාලේ
මට රස්සාවක් ඉල්ලලයි.

උපාදිය තිබුනත්
බට කොළ කන්න වෙයි උඹටත්
හෙනහුරා එක්ක නම් ලේසි නෑ කාටත්

අප්පච්චි හේන අතෑ’රල
ගඩොල් කපන්න ගත්ත
වැහි මෝසමත් දිගටම
හරහට හිටිය හින්දා

දවසම රස්තියාදුව
බිං කළුවරත් එක්කම
හවහට ගෙදර ගාටන
මගේ ජීවිතේ ඇඳිරිය
ඇගේ නෙත් අඳ කෙරුවා

මේ බිමේ සාරේ නෑ දැන්
කොමිනිකේෂන් එකක වත්
රස්සාව බැරි වෙයිද කොළඹ ගියෝතින්
අත්තම්ම කිව්වේ මට
බතට හොදි බෙදමින්

වැවුණත් අකලට මැලවී මැලවී
අයිනක දැන් තාර පාරේ
ගම යන්න හිතක් නැත්තේ
අත්තම්මගේ මරණෙටත්
ගම නොගිය හින්දයි

මහා මේඝයක් වී හමන්නේ
මහා කෝඩයක් වී හඬන්නේ
මා නොදන්නා අතීතේ ගැන
ඈ නොකී ඒ කතාවයි

Advertisements

වීරයා මැරිලා

වීරයින් හඬන්නේ නැද්ද
මට වගේ රිදෙන්නේ නැද්ද
සඳත් සෙමින් මියෙන රැයක
පාළුවක් දැනෙන්නේ නැද්ද

 
අඳුර ගලන ලොවක තනිව
ඉටි පහන් සිලක්‌ දල්වන
පැතුම පමණ ඇද්ද හෙටට
එළිවෙන තුරු බලා ඉන්න

 
වීරයින් වැටෙන්නේ නැද්ද
හදවතින් යටත් නොවෙයිද
වැටෙන වැටෙන වරට නැගිට
දිගට ඇවිද යන්නේ කොහොම

 
අහිමි දේ උඩින් වැටිච්ච
රතු පලස් දිගේ ඇවිද්ද
සදාකාලිකයිම කියන  
වීරයින් මැරෙන්නේ නැද්ද

ආ ගිය තැන්

මේ දූපතෙන් එහා
සත් සමුදුරෙන් එහා
තවත් පොඩි කොදෙව්වක
තවත් පොඩි ගැහැණියක්
ලොකු හීනයක් දකිනවා

මේ කාලයෙන් එහා
ශත වර්ෂයක් එහා
තවත් එක මොහොතක
තවත් එක පිරිමියෙක්  
දෙවරක් සිතා බලනවා

මේ දූපතෙන් එළියට
මේ කාලයෙන් ඔබ්බට
නිල් දියවර පිරුණු
සුභ අනාගතයකට
පියඹා යන්න හිතනවා

කාලාවකාශ තරණයට
සංසාර ගුවන් තොට
මන්දාකිනියේ කෙලවර
වීසා පෝලිම…

අරුන්දතී සොයා

සොයන්න පාළු ඒ නිම්නය පුරා

නැතිවී ගිය යමක් ඔබෙන්,

සොරා ගත් යමක් ඔබෙන්

ගං පතුලක නිදන් ගත යමක්

මතකයේ ගිලී නොපෙනී ගිය යමක්

ඔබෙන් ගිලිහුණු යමක්

වෙලී පෙමින් අමතක කල යමක්

ඔබෙන් බිහිවුණු තවත් කෙනෙකුන් හා

නැතිව ගිය

අමතකව ගිය

ආපසු නොයැවෙන,

පාළු නිම්නයක,

තනි වූ ඔබේම යමක්