අත්තම්මාගේ කතාව

අත්තම්මා අපේ
අන්තිමට ගිය පාර වට වන්දනාවේ
ගැහුවේ පොල් විෂ්ණු දේවාලේ
මට රස්සාවක් ඉල්ලලයි.

උපාදිය තිබුනත්
බට කොළ කන්න වෙයි උඹටත්
හෙනහුරා එක්ක නම් ලේසි නෑ කාටත්

අප්පච්චි හේන අතෑ’රල
ගඩොල් කපන්න ගත්ත
වැහි මෝසමත් දිගටම
හරහට හිටිය හින්දා

දවසම රස්තියාදුව
බිං කළුවරත් එක්කම
හවහට ගෙදර ගාටන
මගේ ජීවිතේ ඇඳිරිය
ඇගේ නෙත් අඳ කෙරුවා

මේ බිමේ සාරේ නෑ දැන්
කොමිනිකේෂන් එකක වත්
රස්සාව බැරි වෙයිද කොළඹ ගියෝතින්
අත්තම්ම කිව්වේ මට
බතට හොදි බෙදමින්

වැවුණත් අකලට මැලවී මැලවී
අයිනක දැන් තාර පාරේ
ගම යන්න හිතක් නැත්තේ
අත්තම්මගේ මරණෙටත්
ගම නොගිය හින්දයි

මහා මේඝයක් වී හමන්නේ
මහා කෝඩයක් වී හඬන්නේ
මා නොදන්නා අතීතේ ගැන
ඈ නොකී ඒ කතාවයි

වීරයා මැරිලා

වීරයින් හඬන්නේ නැද්ද
මට වගේ රිදෙන්නේ නැද්ද
සඳත් සෙමින් මියෙන රැයක
පාළුවක් දැනෙන්නේ නැද්ද

 
අඳුර ගලන ලොවක තනිව
ඉටි පහන් සිලක්‌ දල්වන
පැතුම පමණ ඇද්ද හෙටට
එළිවෙන තුරු බලා ඉන්න

 
වීරයින් වැටෙන්නේ නැද්ද
හදවතින් යටත් නොවෙයිද
වැටෙන වැටෙන වරට නැගිට
දිගට ඇවිද යන්නේ කොහොම

 
අහිමි දේ උඩින් වැටිච්ච
රතු පලස් දිගේ ඇවිද්ද
සදාකාලිකයිම කියන  
වීරයින් මැරෙන්නේ නැද්ද

ආ ගිය තැන්

මේ දූපතෙන් එහා
සත් සමුදුරෙන් එහා
තවත් පොඩි කොදෙව්වක
තවත් පොඩි ගැහැණියක්
ලොකු හීනයක් දකිනවා

මේ කාලයෙන් එහා
ශත වර්ෂයක් එහා
තවත් එක මොහොතක
තවත් එක පිරිමියෙක්  
දෙවරක් සිතා බලනවා

මේ දූපතෙන් එළියට
මේ කාලයෙන් ඔබ්බට
නිල් දියවර පිරුණු
සුභ අනාගතයකට
පියඹා යන්න හිතනවා

කාලාවකාශ තරණයට
සංසාර ගුවන් තොට
මන්දාකිනියේ කෙලවර
වීසා පෝලිම…